හැඳින්වීම

හැඳින්වීම
මා ඇතුලු සමස්ත සමාජය තාක්ෂණයේ ග්‍රහණයට ලක්ව ඇති යුගයක පියවි ඇසින් ලෝකය දෙස බලන්නවුන් ඉතාම අල්පය. එහි යථාර්තය සොයන්නවුන් ඊටත් වඩා අල්පය. එය එක්තරා ආකාරයක සමාජමය පරිහානියට හේතුවකි. විඳවීමට නොව ශක්තිමත් මනසක් සහිතව ජීවිතය විදීමට දක්ෂ වූ දරු පිරිසක් තනනු වස් සහෘද ඔබේ මුවගට සුන්දර සිනහවක් එක් කරනු වස් කාර්යබහුල ජීවන රටාවක් තුළ වුව ද ගුරු දිවිය තුළ මා ලබන්නා වූ සොඳුරු අත්දැකීම් සහ ගොඩනඟනු ලබන අතථ්‍ය සිද්ධීන් ඇසුරින් "ගුරු ඇස" මෙතැන් පටන් දිග හැරේ.

Sunday, November 8, 2020

"නොදකින සිනහව"

ජීවිතයේ හැරවුම් ලක්ෂ බොහෝමයක් හමුවේ පෑනත් අතත් ගුරු ඇසක් බ්ලොගය සඳහා මුනිවත රකින්නට විය. නැවතත් අවධි වූ විගස බ්ලොගය යාවත් කාලීන කරමි.

කලක් තිස්සේ පැන නැගුණු යම් ගැටලුවකට විසදුමක් ලැබුණේ කාලයාගේ ඇවෑමෙනි. විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන අවධීය වූ කලී මනාව අධ්‍යාපනය හැදෑරීමටත් සමාජ සම්බන්ධතා සහ විශම සමාජ දෘෂ්ටි කෝණයන් අධ්‍යයනයට මෙන්ම නිදහස් චින්තනය ට ඉඩ හසර වෙන් කරවා දෙනු ලබන අවධියකි. 

නිදහස් චින්තනයට යොමු ව සිටි ඒ අවධිය තුළ සමාජ සබඳකම් විශාලනය කරන්නටත් නව මාතෘකා ඔස්සේ විවිධ දේ පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන්නටත් පුරුදු වී සිටියෙමි. එම වකවානුව තුළ දී ඇති වූ විසදුම් රහිත යැයි හැඟෙන, විසඳුම් සෙවීමට තරමක් සංකීර්ණ ගැටලුවක් මතු විය.

ඒ වනාහි “මිනිසුන්ගේ මුහුණු තුළ සිනහව කලාතුරකින් දකින්නට ලැබෙන්නේ ඇයි? ” යන්නය.

උදෑසන රාජකාරී කටයුතු සඳහා හෝ වෙන යම් කටයුත්තක් සඳහා හෝ පිටත් වන ඔබ මුහුණට මුහුණ හමුවන පුද්ගලයන් ට සිනහවකින් සංග්‍රහ කරන්නෙක් ද? ඒ සිනහව අව්‍යාජ ද? එසේ නම් ඔබ ජීවිතයේ සාර්ථකන්වයේ පළමු පියවර තබා අවසාන ය.

නමුත් සැබෑම කරුන වන්නේ යමෙකු මුහුණට මුහුණ ගැටෙන විට සිනහවෙන් සංග්‍රහ කිරීම විනා සිනහවෙන් සංග්‍රහ කරන්නෙකුට පෙරළා සිනහවකින් සංග්‍රහ කිරීමත් මිනිසුන්ට දුෂ්කර ය.

“සිනහව” යනු මානසික ආතතියට කදිම ඔසුවකි. එමෙන් ම පමණට වඩා සිනාසීම මානසික රෝගියකුගේ ලක්ෂණ පහළ කරයි.

මිනිසා සමාජය තුළ ජීවත් වනනේ භීතියෙනි, ආතතියෙනි, ඉතා කාර්යය බහුලත්වයකිනි. මුදල් පසු පස හඹා යන තරඟකාරී ජීවන රටාවකට හිමිකමි කියන ශ්‍රී ලාංකික ජනතාව මහත් අසරණ ය. තමා ඉදිරියේ සිටින තම මිතුරා/මිතුරිය අභිබවා යෑම ඔහුගේ/ඇයගේ අරමුණ යි. ඉඳින් කෙසේ නම් සිනාසෙන්න ද? සමාජ තලය තුළ තම පැවැත්ම අන්‍යන්ට වඩා ඉහළින් පවත්වා ගන්නට දරන වෑයමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ණය වාරික ගෙවමින් යන විට කෙසේ නම් සිනාසෙන්න ද? මේ ප්‍රශ්නයට ඇති එකම හේතුව නොවේ.

ගැඹුරින් විග්‍රහ කර බැලූ කළ මෙය තම දේශපාලන අරමුණු කරා ළඟා වීමට, තම තමන්ගේ ජීවිත ධන ධන්‍යයෙන් පුරවා ගන්නට දරන වෑයමේ තවත් එක් ප්‍රතිඵලයකි. දේශය පාලනය කරන්නන් තම සමාන්‍ය වැසියන් දැඩි ලෙස විවිධ වැඩ කටයුතු  වලට හිර කොට පැය විසි හතර තුළ ආවරණය කර ගත නොහැකි අරමුණු කරා මෙහෙයවා ඔවුන්ගේ අවධානය ඒ වෙත රඳවා තබා ගැනීම තුළ ජනතාව මානසික ආතතියෙන් පෙළීම ද එක් හේතුවකි.

මෙවන් ආකල්ප මිනිසුන් කෙරෙහි එදා මෙදා තුර පවතින තාක් කල් මිනිසුන්ට අව්‍යාජව සිනාසිය නොහැක. අවසන නොසිතූ මෙහොතක තම ජීවිතය තොර වන තෙක් ම ඔහු/ඇය සිනාසී නැත.

මනස උසස් තැනැත්තෙකු මේ යථාර්ථය දකියි ද ඔහුට අයෙක් දැක අව්‍යාජව සිනාසිය හැකිය.

(පින්තූරය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.)


2 comments: