හැඳින්වීම

හැඳින්වීම
මා ඇතුලු සමස්ත සමාජය තාක්ෂණයේ ග්‍රහණයට ලක්ව ඇති යුගයක පියවි ඇසින් ලෝකය දෙස බලන්නවුන් ඉතාම අල්පය. එහි යථාර්තය සොයන්නවුන් ඊටත් වඩා අල්පය. එය එක්තරා ආකාරයක සමාජමය පරිහානියට හේතුවකි. විඳවීමට නොව ශක්තිමත් මනසක් සහිතව ජීවිතය විදීමට දක්ෂ වූ දරු පිරිසක් තනනු වස් සහෘද ඔබේ මුවගට සුන්දර සිනහවක් එක් කරනු වස් කාර්යබහුල ජීවන රටාවක් තුළ වුව ද ගුරු දිවිය තුළ මා ලබන්නා වූ සොඳුරු අත්දැකීම් සහ ගොඩනඟනු ලබන අතථ්‍ය සිද්ධීන් ඇසුරින් "ගුරු ඇස" මෙතැන් පටන් දිග හැරේ.

Thursday, December 20, 2018

"අ" යන්න "ආ" යන්න කියුු අවදියට මොහොතකට

මාගේ පළමු පෝස්ටුවෙන් පාඨක ඔබව ඔබේ ළමා අවදියට කැඳවාගෙන යන්න තීරණය කළෙමි. මාගේ මේ සූදානම නැවත ඔබට ඔබේ ළමා කාලය සිහිපත් කරන්නට නොව ඔබට යමක් හිතන්නට ඉඩ හසර වෙන් කරවා දීමටයි.

ඉර, හඳ, ගස්, ගල්, අව්ව, වැස්ස ස්වභාවධර්මයේ චමත්කාරයන් සුරංඟනාවියන්, රාජ කුමාරයන්, කුමාරියන් ළමා ලෝකයේ සතුට බවට පත්වේ. අප ද නොදැනුවත්ව ම දරුවන් සනසන්නට වස්තු විෂය කොට ගන්නේ ද සමනල්ලු, මල්, තරු, හඳ ආදී ස්වභාවික භූතාර්ථ ම ය. ළමා ගීත බොහෝමයක් එවන් වස්තු ආශ්‍රිතවය නිර්මාණය වී ඇති අතර එය ඉදිරිපත් කරනුයේ ව්‍යංගාර්ථයක් ද සහිතව ය. ඒ තුළින් මිනිස් ස්වභාවය පෙන්වයි සමාජයේ ජීවත් වන හැටි උගන්වයි. මා එවන් වූ ළමා ගීත වල අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන අතර ඒ පිළිබඳ මඳක් සිතා බලන්නට ඔබට අවස්ථාව විවර කරමි.