හැඳින්වීම

හැඳින්වීම
මා ඇතුලු සමස්ත සමාජය තාක්ෂණයේ ග්‍රහණයට ලක්ව ඇති යුගයක පියවි ඇසින් ලෝකය දෙස බලන්නවුන් ඉතාම අල්පය. එහි යථාර්තය සොයන්නවුන් ඊටත් වඩා අල්පය. එය එක්තරා ආකාරයක සමාජමය පරිහානියට හේතුවකි. විඳවීමට නොව ශක්තිමත් මනසක් සහිතව ජීවිතය විදීමට දක්ෂ වූ දරු පිරිසක් තනනු වස් සහෘද ඔබේ මුවගට සුන්දර සිනහවක් එක් කරනු වස් කාර්යබහුල ජීවන රටාවක් තුළ වුව ද ගුරු දිවිය තුළ මා ලබන්නා වූ සොඳුරු අත්දැකීම් සහ ගොඩනඟනු ලබන අතථ්‍ය සිද්ධීන් ඇසුරින් "ගුරු ඇස" මෙතැන් පටන් දිග හැරේ.

Tuesday, January 8, 2019

සුමුදු

පසුගිය වාර විභාගයේ දී අඩුම ලකුණු ගත්තේ ඔහු ය. සුමුදු ලෙස මනඃකල්පිත නමකින් මා ඔහුව ආමන්ත්‍රණය කරන්නම්. සුමුදු පංතියේ සිටින දඟම ළමයා ය.

"සුමුදු................ සුමුදු................" ලෙස ඔහුගේ නම පංති කාමරය තුළ දී මාගේ මුවින් පිටවන වාර අනන්තය. ඔහු පාසල් නොපැමිණි දවසට පංතියේ දැනෙන්නේ දැඩි පාලුවකි. ඇත්තේ දැඩි නිහැඬියාවකි.

සුමුදුට පැය එකයි විනාඩි විස්සක් එකතැන වාඩි වී සිටින්නට බොහොම අමාරුය. පංතියේ ලබාදෙනු ලබන ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට ඔහු අපොහොසත් වුවහොත් ඔහුගේ පිළිතුර වන්නේ,

 "ටීච..... මං තනියම ලිව්වේ ඒකයි ලකුණු අඩු...." යන්න ය.

සාමාන්‍ය ගුරුවරයෙකුට මෙන්ම මට ද මාගේ වැඩි අවධානය යොමු වන්නේ පංතියේ සිටින දක්ෂතම සිසු සිසුවියන් වෙතය. ඒ ඔවුන් මා උගන්වන විට ලබාදෙන දැඩි අවධානය සහ උනන්දුව නිසාවෙනි. සුමුදු නිතරම ඝෝෂා නඟමින් ළඟ සිටින අනෙකෙකුත් සමඟ සාමීචියේ යෙදෙන්නේත් මා හා වාදයට එන්නේත් ඔහු කෙරේ මාගේ අවධානය දිනා ගැනීමට ය. නමුදු එම පංතියේ සිසු සිසුවියන් අතරින් මා හට වැඩියෙන් ම ඇලුම් කරන්නේ ඔහුය. ඒ බව මට ගුරු දිනයේ දී පසක් කර දෙන ලදි.

විදුහල්පතිතුමන් මාව යොමුකර ඇත්තේ සුමුදු ඉගෙන ගන්නා අංශයට නොවේ. නමුත් මම එම අංශයේ ඉගැන්වීම් කටයුතු වල නිරත වෙමි. සුමුදුගේ පංතියට මාගේ විෂය ඉගැන්වීමට පටන් ගෙන ගතවූයේ මාසයක් දෙකක් පමණි. ගුරු දිනය උදා විය. ගුරු දිනයේ දී සුමුදු මූලිකත්වය ගෙන ඔවුන් මා අමතක කර තිබුනේ නම් නැත. පෙට්ටියකින් ආවරණය කර තිළිණයක් මා අතට දී දණ ගසා, මට මුලින් ම වැන්දේ ඔහු ය. මා සිහිනයකින් වත් එවැන්නක් බලාපොරොත්තු වූයේ නම් නැත. ෴

2 comments:

  1. ළමා මනස අපූරුය. විටෙක නිශ්චලය, තවත් විටෙක චංචලය. එක් අංශයකට එතරම් දක්ෂ නැති සිසුවෙක් හෝ සිසුවියක් ඊට හාත්පසින්ම වෙනස්වූ අංශයකට දක්ශ විය හැක. ගුරුවරයෙකු ලෙසින් කිසිදා අදක්ෂ යැයි කියා සිසුවෙකු හෝ සිසුවියක අත් හැරිය යුතු නැත. කල යුතු වන්නේ ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒ සඳහා මංපෙත් විවර කර දීමයි.... සුමුදුගේ කථාවෙන් මට දැනුණේ එයයි.
    දිගටම මෙවන් ලිපි සපයමින් blog අඩවිය දිගටම කරගෙන යන්න.
    සුභ පැතුම් ! !

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම ස්තූතියි...

      Delete